දූක් ගැහැට වලට ලක්වීම හා අර්බූදයනට මුහුණ දීම මුස්ලිම් අපට අළුත් දෙයක් නොවේ. අල්ලාහ් විටින් විට උන්වහන්සේගේ ගැත්තන් නානා මාදිලියේ හා උන්වහන්සේට රිසි පරිදි වන පරීක්ෂණයන්ට ලක් කිරීම නිතර සිදූ කරන බවද අප දනිමු. ඇත්තටම මෙලොවදී අප ගත කරන ජීවිතයම අපට පරීක්ෂණයකි. මෙම පරීක්ෂණයන්ද අල්ලාහ් අප හා සමග කථා කරන එක් මාධ්‍යයකි. එය නිසි පරිදි වටහා ගැනීමට අප වහී හෙවත් දේව අනාවරණය පිලිබඳව හා එහි පසුබිම ගැන යම් ප්‍රමාණයක වැටහීමක් තිබිය යුතුය. එසේ නොමැති විට නොයෙක් ව්‍යාකූලතා හටගත හැක. අල්ලාහ්ගේ ධර්මය වෙනුවෙන් සේවය කරන විට හා එහි වගකීම් උසුලන විටද අපට අපහසුතා ඇතිවිය හැක. එසේම එයට පටහැනි ජීවිතයක් ගත කරන විටද මිනිසාට දූෂ්කරතා ඇති වනු ඇත. මේ සියල්ල අල්ලාහ් අප සමග කතා කරන අවස්ථාවන් බව වටහා ගෙන ඒ අනුව අප ප්‍රතිචාර දැක්විය යුතුය. නොහොත් අපගේ ක්‍රියා කලාපයන් වෙනස් කර ගත යුතුය.
සිදුවන සියල්ල අල්ලාහ්ගේ කැමැත්ත පරිදි හා සැලැසුම පරිදි සිදූවී යැයි කීම මුස්ලිම් අප කාගේත් සිරිතක් වී ඇත. යථාර්තයත් එයම බවට කිසිදූ සැකයක් නැත. ලොව සිදූවන සියල්ල අල්ලාහ්ගේ සිතැඟි පරිදිම සිදූ වන්නේය. නමුත් එසේ උන්වහන්සේ යම් සිදූවීමක් තීරණය කරන්නට හේතු කාරක වූ පසුබිම අප වටහා ගැනීමට වෑයම් කළ යුත්තෝ වෙමු. නැතිනම් අපට පැමිණි පරීක්ෂණය කුමක්දැයි වටහා ගැනීමට නොහැකි වන්නේය.
අල්ලාහ් විසින් මිනිසාගේ ලෞකික සංසිද්ධීන් තීරණය කරන නියතයන් නිර්දේශයන් හා පෙරදැරූ සමහරක් ඇත. මෙයට අල්ලාහ්ගේ සුන්නාහ් (මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන්ගේ ජීවිතාදර්ශය) යයිද කියනු ලැබේ. එමෙන්ම ඇතැම් දුර්ලබ අවස්ථාවන්හිදී කිසිදු නියතයක් හෝ පෙරදැරුමකට අදාල නොවන පරිදි වුවද අල්ලාහ්ට යම් සිදූවීම් මාලාවක් සැලසුම් කළ හැක. මන්දයත් නියතයන් සියල්ල නිමවූවෝ උන්වහන්සේමය. සංසිද්ධීන් සැලසුම් කරන්නා හා ක්‍රියාත්මක කරවන්නාවු තැණන් වහන්සේද උන්වහන්සේමය.
පලමුව අප සිදූවීම් තීරණය වන්නා වූ පොදු නියතයන් කුමක්දැයි වටහා ගනිමු. එයද කොටස් කිහිපයකට වෙන්කල හැක. ඉන් එකක් අපගේ සීමාවෙන් ඔබ්බෙහි වන කරුණු වේ. නිදසුනකට අපගේ උපත විපත වැනි දේ ගත හැක. පලමු කොට අප මිනිසුන් ලෙස උපත ලැබුවේ අපගේ තීරණය හෝ තෝරා ගැනීම මත හෝ උවමනාව මත නොවන බව අප දනිමු. අප ඉපදෙන රට, ගම, කාල වකවානුව, කුලය, ගෝත්‍රය, උස, මහත, දූගී හෝ ධනවත් බව, වර්ණය, ලිංගය හෝ හැකියාවන් මේ කිසිවක් කෙරෙහි අප බල රහිතය. මෙය අපට වටහා ගත හැකි කිසිදු නියතයකට ඇතුලත් නොවේ. මෙය අප පෙර කී පරිදි අල්ලාහ්ගේ දැනුම තුල පමණක් වන කරුනු වේ. මෙහිදී අපට අදහස් දැක්විය නොහැක. තෝරා බේරා ගත නොහැක. කැමැත්ත අකැමැත්ත පල කළ නොහැක. මේ කිසිවක් පිලිබඳ අපෙන් විමසීමක්ද කරනු නොලැබේ. මේ පිලිබඳ අප කිසිවෙකුට කිසිවක් කළ නොහැකි නිසා ඒ පිලිබඳ අප කලබල නොවන සිරිතක් අනුගමනය කරන්නෙමු. මා කුමකට පිරිමියෙකුව උපන්නේද? කියා හෝ ගැහැණියක්ව උපන්නේද? කියා හෝ කෙනෙකු ප්‍රශ්න කිරීමෙන් කිසි පලක් නොමැත. පියවි සිහියෙන් සිටින කිසිවෙකු එසේ ප්‍රශ්න නොඅසයි. මරණයත් මෙවැනිම වු සංසිද්ධියක් බව අප වටහා ගෙන ඇත්තෙමු.
එසේම අපට අල්ලාහ් විසින් උන්වහන්සේගේ පණිවිඩකරුවන් මගින් පැහැදිලි කරනු ලැබ ඇති පලවිපාක සාධක මත තීරණය වන තවත් සිද්ධි මාලාවන් ඇත. යම් සීමාවකට මෙහි පාලනය අල්ලාහ් අප සතු කර ඇත. ඔබලා මෙසේ කළහොත් මෙම යහපත ඔබලාට ඇතිවනු ඇත. ඔබලා මෙසේ ජීවත් වුවහොත් ඔබලාට මෙම විපාක ඇතිවනු ඇත යනාදි වශයෙන් එය සිදූ වේ. මිනිසාගේ යහපත සඳහා දෙනු ලැබ ඇති මෙම නියතයන් එම උපදෙස් හා දැනමුතුකම් අනුව පිලිපැදුවහොත් තමාද එයට සෑම අයුරින්ම උපකාරී වන බව හා ලෞකික දිවිය සැපවත් හා සැනසිලි දායක එකක් කරන බවට අල්ලාහ් පොරෙන්දූ වෙයි. එසේම එයට ප්‍රතිවිරුද්ධ පටහැනි ක්‍රියාකලාපයන්ටද අල්ලාහ් එලෙසින්ම යම් යම් අනතුරු ඇඟවීම් හා අවවාදයන් දෙවා වදාරයි. අද ලෝ වැසියා විශේෂයෙන් දෙවියන් සමග විශ්වාසයේ ගිවිසුමකට එළඹ සිටින බහුතරයක් මුස්ලිම් ජනයා ලොව පත්වී සිටින අහේනිය මෙහිම ප්‍රතිඵලයක් වේ.
අද ලොවේ අල්ලාහ්ගේ කුමන නිර්දේශයන් නොසලකා හැරීමෙන් මෙම තත්වය හට ගැනී ඇත්තේද? මෙයට වන පැහැදිලි කිරීම කරා අප උදාහරණයක් හරහා ලඟා වෙමූ. සිරුරේ තුවාලයක් ඇති වී එයට නියම ප්‍රතිකාර නොකළහොත් කුමක් සිදූවේද? එය ක්‍රම ක්‍රමයෙන් නරක් වී එය මුළු සිරුරටම දැනෙන පරිදි වේදනාකාරී හා අසාධ්‍ය වනු ඇත. එසේ එයට ප්‍රතිකාර නොකරන්නාගේ දෛවය එයයි. තවත් කෙනෙකු තමාට ඇතිවූ එවැනිම තුවාලයක් සඳහා නිසි ප්‍රතිකාර ගෙන එය සුවකර ගත්තේය. එය ඔහුගේ දෛවය යයි කිව හැක. නමුත් මෙවන් වෙනස් දෛවයන් ලද පුද්ගලයන් දෙදෙනාගේම ප්‍රතිඵලවල අවසන් ප්‍රතිඵලයන්හි විෂමතා කෙරෙහි බලපෑම් කළ කරුණු දෙකක් ඇත. පලමු පුද්ගලයා විෂයයෙහි ඔහු සැලකිලිමත් නොවුවහොත් තමාට අත්විය හැකි ඉරණම වටහා ඒ සඳහා ක්‍රියාත්මක වී එයින් මිදුනේය. දෙවැන්නා අලසව එය නොසලකා සිටි නිසා වේදනකාරී තත්වයකට පත් විය. මෙලෙසින් අපට ලොව අත්වන ඉරණම අපගේ කල්පනාව ක්‍රියා කලාපයන් හා ගතිපැවතුම් මත දෙවියන් සැලසුම් කරන්නක් බව අපට වටහා ගත හැක.
මිනිසාගේ තෝරා බේරාගැනීම මත ඔහුගේ ඉරණම ලියවී ඇති බව අපට තේරුම් ගත හැක. මේ පිලිබඳ පැහැදිලි කිරීමට අප නබිවදන් දෙකක් උපයෝගී කිරීම සුදූසු යයි සිතමි. අද මුස්ලිම් ජනයාට ඇති වී තිබෙන තත්වය පිලිබඳ ඔවුන්ට දෙනු ලබන විග්‍රහයන් ඔවුන් තව තවත් මග වරදවා මන්දෝත්සාහී කරන ඒවාම වී තිබීම අවාසනාවකි. එක් නබි වදනක් මෙසේය. භයානක බෝවන රෝගයක් දූටු විගස බිහිසුනු සිංහයෙකු දූටුවාක් මෙන් එතැනින් පලා යන්න යයි අණකරන අතර තවත් නබිවදනක් බෝවන රෝගයක් නැති බව අවධාරණය කරයි. මේ නබිවදන් දෙකම සනාථ වුනු සහිහ් (නිවැරදි) දැනුම් දීම් වේ. නමුත් මේ දෙකෙහි පරස්පර බවක් ඇති ලෙසක් පෙනේ. මෙයින් අප වටහා ගත යුතු පැති දෙකක් ඇති බව තේරුම් ගත යුතුයි. සිංහයෙකු වැනි රුදූරු තිරිසනෙකු දූටුවිට අල්ලාහ් මෙම සතාගෙන් මට විපතක් පතා නොමැති නම් මා උහු අසලට ගියද උහු අත පත ගා සුරතල් කළද මට කිසි අනතුරක් සිදූ නොවේ. යයි සිතා එම සතා ලඟට ගියහොත් කුමක් සිදූ වේද? සිංහයෙකු අසලට කැමැත්තෙන්ම ගොස් උහුට ගොදුරු වීම ඔහුගේ ඉරණම බව සැක නැති වුවත් කල්පනා කර හොඳ නරක තෝරා ගැනීමේ ශක්තිය දෙනු ලැබ ඇති මිනිසාගෙන් බලාපොරාත්තු වන්නේ එවැනි අනුවන ක්‍රියාවක් නොවේ.
පෙරකී බෝවන රෝගය පිලිබඳවද නබි වැකියන් වලින් අප වටහා ගත යුතු යථාර්තය මෙයයි. යම් රෝගයකට කෙනෙකු ඔත්පල කිරීමේ බලය නොමැත. නමුත් සිංහයෙකු අසලට යෑමෙන් වැලකී සිටීම නුවණැති මිනිසෙකුගෙන් අපේක්ෂා කෙරේ. බෝවන රෝග හා සාමාන්‍ය රෝග යනු ලෞකික නියතයන්ය. මිනිසාගේ නැණවත් හෝ අනුවන ක්‍රියාකලාපයන් අනුව ඔහුගේ ඉරණම තීන්දු වන බව දිව්‍යමය නියතයකි.
තවත් නිදසුනක් ලෙස අප අපගේ පරිසරය පිරිසිදූව තබා ගැනීම ගැන සිතමු. අප දූරදර්ශීව අපගේ වටා පිටාව පිරිසිදූව තබා ගතහොත් එය ප්‍රසන්න හා හිතකර පරිසරයක් වනු ඇත. එහි වාතය පිරිසිදූව තිබෙනු ඇත. එහි මදූරුවන් වැනි අපට ලෙඩ රෝග ගෙන දෙන කෘමීන් හට නොගැනෙනු ඇත. එමගින් බොහෝවිට නිරෝගී දිවියක් අපගේ ඉරණම වනු ඇත. ඒ වෙනුවට පරිසරය ගැන හෝ පුද්ගලික පිරිසිදූකම හෝ ගැන නොතකන මිනිසුන්ගේ ඉරණම එයට ප්‍රතිවිරුද්ධ වනු ඇත.
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ සිතැඟි පරිදි යයි අප තරයේ විශ්වාස කළ යුතුය. නමුත් අපගේ සියළු කටයුතු නුවණක්කාරව හා දෙවිඳුන්ගේ අණ පරිදි කිරීමට අප වග බලා ගතයුතුය. පරිසරය පිරිසිදූව තබමින් අප විෂයෙහි දෙවියන්ගේ තීරණය යහපත් එකක් කර ගැනීමට අප උනන්දු විය යුතුය. අපට නුවණක් දායාද කර ඇත්තේ ඒ සඳහාය. අපගේ සියළුම වෑයම්වලින් පසුව අප ලබන දෙය නියත වශයෙන්ම අපගේ ඉරණමයි. යහපත අපේක්ෂා කරමින් කටයුතු කරන්නාගේ ඉරණම බොහෝවිට යහපත්ම වන්නේය.
වරක් උමර් රලියල්ලාහු අන්හු තුමා කලීෆාව (ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති) සිටි විට සංග්‍රාම භූමියකට ගියේය. යුද පිටියේ බෝවන රෝගයක් පැතිරෙමින් පවතින බව එතුමන්ට සැල කරන ලදී. තමා පැමිණි කටයුත්ත වහ වහා අවසන් කළ අමීරුල් මුමින්වරයා එතැනින් නික්මෙන්නට වූ විට කෙනෙකු පැමින ඔබ අල්ලාහ්ගේ ඉරණමෙන් ගැලවී යන්නට උත්සාහ කරන්නේදැයි? ඇසුවේය. එයට පිලිතුරු දෙමින් මුස්ලිම්වරුන්ගේ පාලකයා නැත. මම අල්ලාහ්ගේ එක් (අයහපත්- ඉරණමකින් ඈත් වී වෙනත් (යහපත්) ඉරණමක් කරා යමි යයි පිලිතුරු දූන්හ. ඉරණම පිලිබඳ අපට ඇති ගැටළුවට මෙම සිද්ධිය කදිම නිදසුනකි. කෙටියෙන් කිවහොත් අල්ලාහ් මිනිසාට තීන්දු කරන ඉරණම් වල යහපත් හා අයහපත් යයි පැති දෙකක් ඇත. එය තෝරා ගැනීම අපට පවරා ඇත. එසේ නොමැතිව සියල්ල අල්ලාහ්ගේ සැලසුම් අනුව වනු ඇති යයි සිතා අප කුමක් කළද එයින් කිසි පලක් ඇති නොවන්නේ යයි සිතා ගැනීම හෝ එම අදහසම අනුන්ටත් වැපිරවීම ඉස්ලාම් ධර්මය විකෘති කරනා මහත් අපරාධයක් යයි අප වටහා ගත යුතුය. මෙම අනුවණ අකටයුත්ත වත්මන් ලොවෙහි සිදූවන නිසා එය පිලිබඳ මඳක් විස්තරාත්මකව කතිකා කිරීමේ ඕනෑකම ඇති වී තිබේ.
අද තත්වය ගැන මඳක් අප සිතා බලමු. අද ලොව පුරා අර්බූදයන් ගැටුම් හා අදෝනාවන් නැඟෙමින් පවතී. එය මුස්ලිම් වරයාට පමණක් නොවේ. මෙය අප අතර පවතින තවත් වැරදි මතයකි. සියළුම අපරාධ අකටයුතු අහේනි හා දුක් ගැහැට ඇතිවන්නේ මුස්ලිම් අපට පමණක් යයි කීම අපගේ සිරිතක් වී ඇත. මෙහි කිසිදූ සත්‍යයක් නොමැත. අද ලෝකවාසී මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් නිසා සියල්ලන්ගේම ඉරණම් අයහපත් වී නොයෙකුත් අර්බූදවලට පත්ව පීඩිතවී ඇත. අද අපගේ රටේ තත්වය ගැන මඳක් සිතා බලමු. ජාතික ගැටළුවකට ගතවූ දශක දෙකක් පුරා හිරවී මුස්ලිම් සිංහල හා දෙමල අප සියල්ලන්ම වෙහෙසට පත්ව ඇත්තෙමු.
මුස්ලිම් වර්ගයා ඉතා බැරෑරුම් වගකීමක් ඇතිව මෙලොවට පැමිණි කොටසක් බව පලමුව අප කවුරුත් වටහා ගත යුතුය. අන් අය මෙන් අපගේ ජාතිය අපගේ ආගම හෝ අපගේ වරිගය යනුවෙන් පටු සිමාවන් අපට දැමිය නොහැක. අප ආගම් වාදීන් නොවේ. ජාතිවාදීන් නෙවේ. අප ප්‍රතිපත්තිවාදීන් පමණි. අප එකම දෙවිකෙනෙකු විශ්වාස කරන්නන් නම් අහස, පොලොව, ඉර, හඳ ඇතුළු මුළුමහත් විශ්වයම හා ලොව ඇති සියළු ජීවීන් ඇතුළු සියල්ල මැවුවේ උන්වහන්සේ යයි, අප කියන ප්‍රකාශය අපම ස්ථීරව විශ්වාස කරන්නේ නම්, ලොව ජීවත් වන සියළුම මිනිස් වර්ගයා එම දෙවියන්ගේම මැවිල්ල යන්නෙහි කිසිදූ සැකයක් තිබිය නොහැක.
සිදු වී ඇත්තේ අල්ලාහ් තමන් වෙත තබා ඇති පෙරකී ඉරණමේ බලතල අනුව අප මුස්ලිම්වරු ලෙස හා ඔවුන් අන් ආගම්වල හැටියට පත් කිරීම නොවේද? එසේ නම් කිසි බේදයකින් තොරව මිනිස් වර්ගයාට ඇති වන පරිහානියට පලමුව වේදනාවට පත්විය යුත්තේ මුස්ලිම්වරුන්මය. මන්ද යත් මේ සියල්ලෙහිම පසුබිම නොහොත් යතාර්ථය හෙවත් ඇත්ත දන්නෝ ඔවුන් පමණක් හෙයිනි. ලොවට සමෘධිය සතුට හා සාමය ඇතිවිය හැකි හේතු කාරකයන්ද පරිහානිය අහේනිය දූක හා දොම්නස ඇතිවිය හැකි කාරණාවන්ද පිලිබඳ දන්නෝ අප පමණක්ම හෙයිනි. පෙර කී පරිදි අපගේ ජීවිතවලට සතුට හෝ ශෝකය ඒවාට අදාල සාධකයන් අනුව පහල වන්නේය. යම් ජන කොටසක් සමෘධිය සතුට හා සාමය තමන් වෙත ලඟා කර ගත හැකි නිර්දේෂිත පිලිවෙත් අනුගමනය කරන විට ඔවුන්ට එය සඳහාත් වනු ඇත. ප්‍රවිරුද්ධව පරිහානිය, අහේනිය, දූක හා දොම්නස ලඟා කරගන්නා ගමන් මගක් තෝරා ගත්තවුන්ට එයම ලැබෙන්නේය.
මෙම දෙයාකාර ක්‍රියාකලාපයන් කුමක්දැයි වටහා ගැනීම අද අප කාහටත් අත්‍යාවශ්‍ය වී ඇත. මේ පිලිබඳ ශුද්ධ අල්-කුර්ආන් වැකියක් මෙසේය. වහ්දයිනාහුන් නජ්දයින් (ඔබලාට අප ගමන් මාර්ග දෙකක් පෙන්වා දී ඇත්තෙමු) යනුවෙන් අපට සහතික වෙයි. මෙම සත්‍යයන් අප පිලි ගන්නවා පමණක් නොව මුළු ලොවටම පැහැදිලිද කළ යුතුය. එය අපගේ වගකීමක්ද වන්නේය. එවන් යහපත් දිවිපෙවෙතක් අපට ලබා දෙන්නේ මරණින් මතු ස්වර්ගය පමණක්ම නොවේ. එම යහපත් චරිතයම මෙලොවදීම ස්වර්ගයකි. ස්වර්ගය කරා අප යන මගද සැනසිලිදායක හා සතුටෙන් පිරි එකක් වනු ඇත. නිරය හා ගින්න කරා අප යන ගමනද එවැනිම වූ සැනසිල්ලක් නැති, තැතිගැණුනු හා අවමන් පිරි එකක් වනවාටද සැක නැත.
අපට දැවැන්ත වගකීමක් ඇති බව කීවෙමු. එය එසේමය.
මන්ද?
ශුද්ධවූ අල් කුර්ආනය තම බල ප්‍රදේශය හුදන් ලින්නාස් (මෙය මුළු මිනිස් වර්ගයාටම නිසි මග පෙන්වයි) යයි පවසයි.
එහිම නබිතුමන්ගේ දූත මෙහෙය ගැන කාෆ්ෆකන් ලින්නාස් (මොහු මුළු මිනිස් වර්ගයාටමය) යයි අවධාරණය කරයි.
මුස්ලිම් වර්ගයා පිලිබඳ උහ්රිජත් ලින්නාස් (මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් පත් කරන ලද) යනුවෙන්ද තහවුරු කරයි.
අහස, පොලොව, ඉර, හඳ, ඇතුළු සියළුම දේ මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. අල්ලාහ්ගේ ධර්මයද එසේමය. තමා දකින සියළුම මිනිස් වර්ගයා දෙස මේ මා විශ්වාස කරන සත්‍ය හා එකම දෙවියන් විසින් මවා ඇති මා වැනි වූම මනුෂ්‍ය නිර්මාණයකි. යන සිතුවිල්ලෙන් හා ප්‍රේමයෙන් බැලිය හැකි පුද්ගලයා, නියම විශ්වාසිකයෙකු හෙවත් මුස්ලිමෙකු වන්නේය.
එවන් වගකිව යුතු ස්ථානයක සිටින මුස්ලිම් මිනිසා අද මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නේ කුමක්ද? තමන් අතරම වැරදි සහිතව හා පාපයන්වල ඇලී ගැලී සිටීම එක්තරා දුබලත්වයකි. තමන් උසුලා සිටින වගකීම පැහැර හැරීම අනෙක් බරපතලම වරදයි.
යම් අයෙකුට හෝ පිරිසකට යම් දෙයක් යම් භාණ්ඩයකට මනාපවීමට හෝ යම් ප්‍රතිපත්තියක් පිලිගැනීමට පලමුව එය ඔවුන්ට ප්‍රියජනක හා සිත්කළු විය යුතුය. තමන්ට ප්‍රියජනක හා ලාභ ඇතැයි සිතෙන දෙය කරා සිඝ්‍රයෙන් එක් රොක්වීම හා ඇදී ඒම මිනිසා ඇතිවූදා පටන් ඔහුට ඇති සහජ ගුණාංගයකි. ඉස්ලාම් ධර්මය මිනිස් වර්ගයාට ප්‍රියමනාප ගමන් මගක් ලෙස දැකවීමට අප අපොහොසත් වී ඇති බව අප පිලිගත යුතුය. වෙනෙකක් තබා එය මුස්ලිම්වරුන් ආකර්ෂණය නොකරන්නක් බවද පෙනේ. ඒ මන්ද? එකම දින දේශපාලඥයෙකුගේ හා ඉස්ලාමීය ධර්ම දේශකයෙකුගේ රැස්වීම් දෙකක් පවත්වන කල මුස්ලිම්වරුන්ගේ වැඩි පිරිසක් ඇදී යන්නේ කොයිබටද? තිත්ත වුවත් ඇත්ත නම් දේශපාලඥයාගේ රැස්වීමටය යන්නයි.
අවංකභාවය හෝ සත්‍යය කථා කිරීම පිලිබඳ එතරම් හොඳ නමක් නොදැරුවද වැඩි පිරිසක් ඇදී යන්නේ දේශපාලඥයකුගේ කථාවට සවන් දීමටය. ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන්ට පවා ප්‍රියජනක දහමක් නොවී තිබෙන තත්වයට වගකිව යුත්තෝ කවුරන්ද? එයට වග කිව යුත්තෝ ඉස්ලාමය බහුතර ජනයාට ඉදිරිපත් කරන්නෝමය. ඒ ඔවුන් ඉදිරිපත් කරන ආකාරය ආකර්ෂණීය නොවන නිසාය. ඒ කෙසේද? ඉස්ලාමීය දිවි පෙවෙතක් මා පිලිපැදහොත් මට ලැබෙනුයේ කුමක්දැයි? යන සාමාන්‍ය මුස්ලිම් මිනිසාගේ පැනයට ඔහුට ලැබෙන පිලිතුර ස්වර්ගය යන්නයි. මරණින් මතු විශාල ජයක් ලැබෙන පොරොන්දූව, විශ්වාසයෙන් එතරම් පිරිපුන් නොවූ මුස්ලිමෙකුට එතරම් සිත් ඇද ගන්නා සුළු එකක් නොවනු ඇත. හදිසිය ඉක්මන හා ආශාව මුසුකොට නිමවා ඇති මිනිස් ස්වභාවය එයයි. මෙලොවේ අනිත්‍ය බව වටහා ගත් නැණවත් හා කැපවීමෙන් ජීවත් වන්නට චිත්ත බලය ඇති ඉතා සුළු පිරිසක් එය පිලිගෙන ලෞකික දූක් කම්කටොලූ ඉවසා දිවි ගෙවන්නට ඉදිරිපත් විය හැක. නමුත් බහුතරය එවැනි උත්තම පුද්ගලයින්ගේ ඝනයෙන් සෑදූනක් නොවේ.
තවද ඉස්ලාම් ධර්මය පොරොන්දූ වන්නේ ස්වර්ගය පමණක්ම නොවෙයි. රමණීය හා ප්‍රියජනක ලෝකයක්ද එය පොරොන්දූ වනවා නොවේද? කවුරුන්ද ඒ බව ඔවුන්ට සිහිපත් කළේ? මෙලොව දූෂ්කරතාවලින් පීඩිත මිනිසාට නිතර නිතර මරණින් මතු දිවිසැප පමණක් සහතික වීමෙන් ඵලක් නැත. කුස ගින්නෙන් දුබල වූ සිඟන්නෙකුට සතියකින් තමාගේ නිවසේ පවත්වන උත්සවයට පැමිණියහොත් බඩකට පුරා ආහාර දෙන බවට කෙනෙක් පොරොන්දූ වීමෙන් එම දූගියාට එම මොහොතේ සෙතක් අත්වේද? කැඳ ටිකකින් හෝ එවෙලෙහි ඔහුගේ කුස පිරවීම එම අසරණයාට වඩාත් ප්‍රියජනක නොවන්නේද? මෙම යටිතල යතාර්ථය අප කවුරුත් නිවැරදිව වටහා ගත යුතුය.
සොයුරු/සොයුරියනි, මා ඔබට කරන මෙම ඇරයුම මුස්ලිම් ඔබ, මම හා අප සියල්ලෝම ලොවට මෙම සැනසිලිදායක වාතාවරණය ගොඩනැගීමේ කටයුත්තට වගකිව යුත්තන් නිසාය. ඒ සන්ආ නගරයේ සිට හද්රමව්ත් දක්වා ස්ත්‍රියක් තනිවම අල්ලාහ් කෙරෙහි බිය හැර අන් කිසි බියක් නොමැතිව රෑ දහවල් ගමනක යෙදූනු යුගයක් බිහි කිරීමට කාරුණික නබි තුමන් සිය සහාබාවරුන් (අන්‍යාගාමිකයන්)ට ඇරයුම් කළහ. එක්සත් වන්න, අප එවන් යුගයක් නැවත ලොවට දායාද කරමු.
එකල ලෝවැසියාට මහත් හිරිහැර ගෙන දෙමින් සිටි රෝමය වැනි රාජ්‍යයන්ගේ ග්‍රහණයෙන් මිනිසුන් මුදවා ගැනීමට නබිතුමන් සිය අනුගාමිකයන් එක් රැස් කළහ. එවැනි අවශ්‍යතාවයක් අදත් අප අතර ඇති වී තිබෙන නිසා අපද නිදහස් වී ලොවද විමුක්තියට පත් කරන එම උතුම් ක්‍රියාවලියට අප සියල්ලන්ම දායක වෙමු.
ඒ මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් කුරිරු රාජ්‍යයන්ට එරෙහි ධර්මිෂ්ඨ විප්ලවයකට සූදානම් කළ පිරිස, ප්‍රාරම්භයේ ඉතා පහත් තත්වයක සිටියහ. මිනිසා දත් සියළු පාපයන්වල ඔවුන් ඇලී ගැලී සිටියහ. මත්පැන, දූරාචාරය, සූදූව, වංචාව, එකිනෙකා ඇනකොටා ගැනීම, තමන්ට ගැහැනු දරුවන් ඉපදූනු විට එම බිළින්දන් පණ පිටින් වලළා දැමීම යනාදි නොඇසූ විරූ සියළුම පාපයන් කරමින් සිටි ඔවුන්ගේ බහුතරයක් ලියන්නට කියවන්නට නොදත්, නූගත් අඥාණ පුද්ගලයන් වූහ. නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් ඔවුන් අතර වසර ගණනක් ඉමහත් පරීශ්‍රමයක් ගෙන ඔවුන් අතර විශ්මයජනක විපර්යාසයක් ඇති කළහ. එසේ සකසනු ලැබූ එම පිරිස ලොව ශ්‍රේෂ්ඨම උත්තමයන් බවට පත්වූහ. ලොව මිනිස් වර්ගයාට ජීවත් වීමට ප්‍රසන්න හා සිත්කළු තැනක් කරනු පිණිස, එම උතුමන් ජීවිත දානයෙන්ද කැපවූහ. ඉන්පසු ශතවර්ෂ ගණනාවක් එහි ඵල මුළු ලොවම නෙලා ගත්තේය. ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාමීය අගයන් ලෞකික පුහු ආටෝපයන්ට නතු කිරීමට මුස්ලිම් වර්ගයා පටන් ගැනීමෙන්, අද ලොවට අත් වී ඇති පරිහානිය හටගැනී ඇත.
එකල මිසරය රෝම අධිරාජ්‍යවාදීන්ගෙන් මුස්ලිම්වරුන් මුදවා එහි ධර්මිෂ්ඨ ඉස්ලාමීය රජයක් පිහිටුවා තිබුනු වකවානුව විය. එවිට මුස්ලිම් රටවල් සියල්ලටම එකම නායකයා හෙවත් කලීෆා වූයේ උමර් ෆාරූක් තුමන්ය. ඔහු විසින් මිසරයේ ආණ්ඩුකාරයා වශයෙන් පත් කර යවනු ලැබ තිබුනේ අම්ර් ඉබ්නුල් ආස්වය. රෝම රාජ්‍ය සමයේ මිසර වැසියන්, තම රටේම ජීවත් වූයේ වහලූන් හැටියටය. නමුත් පසුව මුස්ලිම්වරු ඔවුන් ආණ්ඩු කළද, රටවැසියන්ට හිමි තැන හා අයිතිය නිසි ලෙස දී තිබුනහ. එවිට පැවති අශ්වයන් පිට හඹා යෑමේ තරඟයකට ආණ්ඩුකාරයාගේ පුත්‍රයාද සහභාගී විය. නමුත් එහි ජය අත්වූයේ කිබ්ති නම් වූ නීග්රෝ කුලයකට අයත් මිසරවාසී තරුණයෙකුටය. පරාජය දරා ගත නොහැකිවූ ආණ්ඩුකාරයාගේ පුත්‍රයා, සිය අත තිබූ කසයෙන් ඔහුට පහරක් ගැසුවේය. රෝමවරුන්ගේ අධිරාජ්‍යවාදී ආණ්ඩුසමයෙහි මෙවන් තරඟයක දිනනු තබා එයට සහභාගීවන්නටවත් යටත් පිරිසෙයින් එවැන්නක් නැරඹීමටවත් අවසර නොතිබුනි. නමුත් මෙකල්හි පැවතුනේ මුස්ලිම් පාලනයක් නොවේද? රටවැසියෙකුට මෙවන් අසාධාරණයක් හා අවමානයක් විය හැකිද? කිසිසේත් විය නොහැක. කස පහර කෑ එම කිබ්ති ගෝත්‍රිකයා වහා මදීනාවේ සිටින කලීෆා උමර් බැහැදැකීමට පිටත් විය. මන්ද යත් පෙර තමන් වහලූන් සේ යටපත් කර තබා ගත් රෝමවරුන් මෙන් නොව මුස්ලිම් රජයකින් තමන්ට යුක්තිය හා සාධාරණය ඉටු වනු ඇත යනුවෙන් ඔවුන් තරයේ විශ්වාස කල හෙයිනි.
නමුත් අද ජීවත්වන මුස්ලිම්වරුන් විසින් එවැනි ඉස්ලාමයක් ලෝකයට පෙන්වනු දැකිය හැකිද? ලොව ධර්මය රජයන තැනක් බවට පත් කර මුළු මිනිස් වර්ගයා ස්වර්ගයට ගෙන යා යුතු මුස්ලිම් මිනිසා, තමන්ගේ පුද්ගලික වැඳුම් පිදූම්වල නිරතවෙමින් සියල්ල අල්ලාහ්ගේ සිතැඟි පරිදි සිදූවනු ඇත යනුවෙන් කොඳුරමින් සිටිත් නම් ලොව ඉරණම කුමක් වේද? මෙවැන්නෙකු මරණින් මතු දෙවියන් හමුවී තමන්ට ස්වර්ගය දෙන මෙන් ඉල්ලා සිටියහොත් අල්ලාහ්ගේ පිලිතුර කුමක් වනු ඇත්ද? මුළු ලෝකයම නිසි මග නොදැන අතරමං වී දූකට පත්ව සිටි විට, තමා පමණක් ආත්මාර්ථකාමීව, සතුටින් ජීවත්ව පැමිනෙන කෙනෙකුට ගරුබුහුමන් හා ස්වර්ගය දෙන දෙවිකෙනෙකු යුක්ති සහගත දෙවිකෙනෙකු වනු ඇත්ද? මෙවන් ඉස්ලාමයක් ජනයාට ඉදිරිපත් කිරීමෙන් කිසි සෙතක් බලාපොරොත්තු විය නොහැක. පලමුව මුස්ලිම් අප ඉස්ලාමය හරිහැටි වටහාගත යුතුය. කුමක් හෝ සිදූවූවාවේ යයි අලසව සිට, ලොවටද අසාධාරණය කරමින්, තමා බලාපොරොත්තුවන මරණින් මතු ජයද නොලැබෙන අවාසනාවන්ත ඉරණමකට ගොදූරු නොවන මං පලමුව අප සෙවිය යුතුය. එසේ නොවුවහොත් අපේ රට හා ලෝකය තවත් පරිහානීන්ට ලක්වෙමින් විනාශ මුඛය කරා ඇදී යනු වැලැක්විය නොහැක. පසුගිය කාලයේ දඹුල්ලේ ඇතිවු සිද්ධීන් මෙන් වැනි සිද්ධීන් තව තවත් ඇති වනු ඇත. අප මෙලෙසින් රැස්වී කථා පැවැත්වීමෙන් වත් ඔබලා එය අසා සිට විසිරී යාමෙන්වත් අපට කිසිවක් අත් කරගැනීමට නොහැකි වනු ඇත.
අප මරණයට පත්වන විට ලොව අප ඉපදූනු වකවානුවේ තිබුනාට වඩා යහපත් තැනක්ව වෙනස් වී තිබිය යුතුය. එයට අපගේද දායකත්වය ලැබී තිබිය යුතුය. එසේ නොමැතිව අප මරණයට පත වන සමයෙහි ලොව තවත් අර්බූදකාරීවී අහේනියට පත්ව තිබුනහොත් එය පිලිබඳව අල්ලාහ් අපගෙන් විමසනු නියතය. එම ප්‍රශ්න කිරීමෙන් අප ගැලවී ස්වර්ගස්ථ විය නොහැකි බව අප තරයේ වටහා ගත යුතුය. මුස්ලිම් වරුන් යනු ආත්මාර්ථය උදෙසා අල්ලාහ් පත් කල කොටසක් නොවන බව අප තරයේ සිතට ගත යුතුය. එමෙන්ම අද අප ලංකවේ සහ ලොවෙහි තිබෙන අරාජික බවට යතාර්ථවාදී සහ සත්‍යවාදී එකම විසඳූම ඇත්තේ මුස්ලිම් අප ලඟ බව අප අමතක නොකල යුතුය. අපගෙන් මෙම වගකීම ඉටු නොවනවා නම් එය ඉටු කිරීමට වෙනත් ජන සමාජයක්ද නොමැත. එසේ නම් වන්නේ අල්ලාහ්ට අප වෙනුවට වෙනත් ජනතාවක් මුස්ලිම් වරුන් ලෙස කැඳවා එම කාර්ය භාරය ඉටු කරවීමය.
අහමද් අන්වර් මනතුංග
