හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක්
හලාල් සහ හරාම් යනු කුමක්දැයි මම කලින් ලිපියක පැහැදිලි කළෙමු. මෙහිදී අප දැන ගතයුතු තවත් කරුණක් නම් දෙවිදුන් අනුමත කළ දේ මොනවාද? නොකළ දේ මොනවාද යනුයි.
මෙම ලිපිය තුලින් මා උත්සාහ දරා ඇත්තේ ඒ පිළිබදව ඔබ දැනුවත් කිරීමයි. ඔබට අල්ලාහ්ගේ මාහැගි යහමග අත්වේවා.
1. මුස්ලිම්වරයෙකු සඳහා වූ අනුමත හැසිරීම් රටාවන්
මුස්ලිම් වරයෙකු ලෙස අප කටයුතු කිරීමේදී. අපට වගකීම් සම්භාරයක් ඇත. ඒවා එකින් එක පහත දක්වා ඇත.
අල්ලාහ් උදෙසා වන වගකීම්
A. දෙවිඳුන් කෙරෙහි විශ්වාසය සහ නැමදුම
- ඉස්ලාමයේ එන මූලික වගකීම් පහ (පංච ශීලය)ට අනුකූලව ක්‍රියා කිරීම
B. අල්ලාහ් සමග ඇති සම්බන්ධතාවය
- විශ්වාසයේ අවංක භාවය (මෙය ඉතාමත් වැදගත් අංගයක් වන අතර ඉස්ලාමීය විශ්වාසය සඳහාවූ මූලික අවශ්‍යතාවය වේ)
- අල්ලාහ් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම සහ උන්වහන්සේගේ දයානුකම්පාව ලැබීමේ අපේක්ෂාව
- දේව බියබැති භාවය හෙවත් දෙවිඳුන් කෙරෙහි නිරන්තර සිහිබුද්ධියෙන් පසුවීම.
- තම පව්වලට/ වැරදි වලට සමාව අයැදීම නිරන්තරයෙන් අල්ලාහ් වෙතට හැරී උන්වහන්සේගේ දයානුකම්පාවට පාත්‍රවීමට උත්සාහ දැරීම.
- තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අල්ලාහ් වෙතට ප්‍රාර්ථනා / ආයාචනා කිරීම සහ උන්වහන්සේගේ දායාදයන් අපේක්ෂාවෙන් සිටීම.
* සෙසු මිනිසුන් කෙරෙහි වූ වගකීම්
A. දෙමව්පියන් උදෙසා
- ඔවුන්ට ගරු කිරීම
- ඔවුන් අසරණ වූ විට/ මහළු වූ විට/ රෝගී වූ විට රැකබලා ගැනීම.
- ඔවුන්ට ආදරය කරුණාව දැක්වීම
(ඔබගේ දෙමව්පියන් මුස්ලිම් වරුන් නොවුවද ඉහත සඳහන් දේ ඔබ විසින් ඉටුකළ යුතු අනිවාර්යය වගකීම් වේ. එසේ වුවද ඔවුන් ඔබට ඉස්ලාමයට පටහැනි දෙයක් කිරීමට ආරාධනා හෝ අණ කරන්නේ නම් එහිදී ඔබ ඔවුන්ට කීකරු විය යුතු නොවේ. මුස්ලිම් දරුවෙකු විසින් තම මුස්ලිම් නොවන දෙමව්පියන් හට දිය හැකි වඩා උතුම්ම ත්‍යාගය නම් ඉස්ලාමය පිළිබඳව ඔවුන් හට කරුණු පහදා දී එය වැලඳ ගැනීමට උනන්දු කරවීමයි.)
B. ඥාතීන්, අසල්වැසියන්, අනාථයින් සහ අසරණයින් වෙතට කරුණාවෙන්, දයාවෙන් යුතුව ඔවුනට සැලකීම ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට උදව් කිරීම.
C. විශ්වාස වන්තයන් උදෙසා
- තමන්ගේම සහෝදරයන් / සහෝදරියන් ලෙස ඔවුන්ට සැලකීම.
D. අන්‍ය ආගමිකයන් උදෙසා
- ඔවුන්ගේ විශ්වාස කිරීමෙහි සහ ඇදහීමෙහි ඇති නිදහස ආරක්ෂා කිරීම.
- ඔවුන් සමග ඉවසිලිවන්තව කටයුතු කිරීම.
- ඔවුන්ට ඉස්ලාමය පිළිබඳව සත්‍ය තොරතුරු පැහැදිලි කරදී ඉස්ලාමය වෙත ආරාධනා කිරීම.
E. සමාජමය සිරිත් විරිත්
- ආචාරශීලි බව
- සහයෝගයෙන් සියල්ලන් සමග එක්ව කටයුතු කිරීම.
- විනීතව හැසිරීම
- පොරොන්දු කඩ නොකොට නොපිරිහෙලා ඒවා ඉටු කිරීම.
- විශ්වාසවන්ත බව
- කාරුණික බව
- දයාන්විත බව සහ සමාව දීමේ ගුණය
- ත්‍යාගශීලී බව
- සාධාරණත්වය
F. පොදු වශයෙන්
- සියළු මනුෂ්‍ය ජීවිත වල පවිත්‍රභාවය රැක ගැනීම සහ ඊට ගරු කිරීම.
- අන්‍යයන්ගේ පෞද්ගලිකත්වය සහ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම සහ ඊට ගරු කිරීම.
- අන්‍යයන් යහපත් ක්‍රියාවලට යොමු කීරීම සහ අයහපත් / වැරදි ක්‍රියාවන් වලින් වලක්වා ගැනීම.
- අප සැමගේ නිර්මාතෘ වන අල්ලාහ්ගේ මාර්ගය වෙතට මිනිසුන්ට ආරාධනා කිරීම.
* දෙවිඳුන්ගේ අනෙකුත් නිර්මාණයන් (මැවීම්) කෙරෙහි වූ වගකීම
A. පරිසරය සංරක්ෂණය කිරීම සහ එහි ස්වභාවික සමතුලිත භාවය රැකබලා ගැනීම.
B. අප සමග හෝ අප වටා ජීවත් වන අන්‍ය සත්වයන්ට කරුණාවෙන් සැලකීම.
* තමන් වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම්.
A. බාහිරව
- තම ශරීරය පිරිසිදුව තබා ගැනීම.
- තම ශරීරයේ සනීපාරක්ෂාව / සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීම.
B. අභ්‍යන්තරික
- විනය ගරුක බව සහ ආත්ම සංයමය / ආත්ම සමනය.
- සත්‍ය ගරුක බව, විශ්වාස වන්ත බව, අවංක භාවය
- ඉවසිලිවන්ත බව, උත්සාහ වන්ත භාවය / වීර්ය වන්ත බව
, කරදර බාධක හමුවේ නොසැලී සිටීම.
- විනීත බව සහ චරිතවත් බව, පවිත්‍රභාවය
- උද්යෝගී බව සහ කඩිසර බව.
2. මුස්ලිම් වරයෙකු වෙතින් අපේක්ෂා නොකෙරෙන හෙවත් නොමනා හැසිරීම්.
A. විශ්වාසය සහ වන්දනාව පිළිබඳව.
- ෂිර්ක් (අල්ලාහ් කෙරෙහි, උන්වහන්සේගේ දිව්‍යමය බව කෙරෙහි, උන්වහන්සේගේ අධිපතීත්වය කෙරෙහි, උන්වහන්සේගේ අධ්විතීය නාමයන් සහ ගුණාංගයන් කෙරෙහි හෝ උන්වහන්සේට පමණක් හිමි වූ නැමදුම කෙරෙහි වන අයිතිය කෙරෙහි යම් හවුල්කරුවන් සමානයන් තැබීම ෂිර්ක් වේ) මෙය යමෙකුට සිදුකල හැකි පාපකර්ම අතුරින් වඩාත්ම බලගතු පාපකර්මය වේ.
- බිද්ආහ් එනම් දහම සම්බන්ධ කටයුතු වලදී ශුද්ධවූ අල්-කුර්ආනීය ඉගැන්වීම හෝ මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නබිතුමාණන්ගේ ජීවිතාදර්ශයෙන් ඉගැන්වෙන දේට පටහැනිව කරනු ලබන නව සංයෝගයන් හෙවත් ආගමික කර්තව්‍යයන් හට තමන් හිතූ මනාපයට අළුතින් දේ එකතු කිරීම බිද්ආහ් නම් වේ.
- කුහක බව සහ උඩඟුකම නිසා අන්‍යන්ට පෙනීමට පමණක් යහකම් කිරීම.
- වන්දනා කටයුතු නොසලකා හැරීම, අතපසු කිරීම හෝ ඒවායින් වැලකී සිටීම.
- අල්ලාහ් පිළිබඳ බියබැතිභාවය අමතක කිරීම හෝ දේව විඥානයෙන් තොරව සිටීම සහ දෙවිඳුන්ගේ දයාව / කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන්කර ගැනීම.
- මිථ්‍යාමතවාද සහ අන්ධ විශ්වාසයන් අනුගමනය කිරීම.
- දෛවඥයන්, ශාස්ත්‍රකරුවන්, අනාවැකි පවසන්නෝ කෙරෙහි විශ්වාසය තැබීම සහ ඔවුන් වෙත යාම හෝ ඔවුන්ගෙන් අදහස් විමසීම.
- යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, හූනියම්, අනවින, කොඩිවින, විජ්ජා කටයුතු වල නිරත වීම හෝ ඒ සඳහා උපකාර කිරීම.
B. මිනිසුන් සම්බන්ධව
* දෙමව්පියන් අරබයා
- ඔවුන්ට නින්දා කිරීම / අගෞරව කිරීම.
- අපහාස කිරීම, බලෙන් තමන්ට අවනත කරගැනීම, ගැරහීම.
- ඔවුන්ට රළු පරළු වීම.
* ඥාතීන් අරබයා
- තම ඥාති සබඳතා පළුදු කර ගැනීම.
- සාධාරණ හේතුවක් නොමැතිව තම භාර්යාව / පුරුෂයා දික්කසාද කිරීම.
- තමන්ගෙන් යැපෙන්නන් නොසලකා හැරීම.
- තම ස්වාමි පුරුෂයා හට අකෘතඥ වීම.
- තම ස්වාමි පුරුෂයාගේ ධනය අනිසි ලෙස නැති නාස්ති කිරීම.
* විශ්වාස වන්තයින් අරබයා
- අසාධාරණ ලෙස දිගුකලක් වෙනත් මුස්ලිම් වරයෙකු සමග ඇති සබඳතා නගර කර දැමීම.
C. සමාජමය සම්බන්ධතා වලදී
- කාන්තාවන් සහ පුරුෂයින් නිදහසේ මිශ්‍ර වී කටයුතු කිරීම.
- විවාහයකින් පරිබාහිරව කාන්තාවන් සහ පුරුෂයින් අතර ඇතිවිය හැකි ශාරීරික සම්බන්ධතා.
- පරදාර සේවනය, ගණිකා වෘත්තිය, සම ලිංගක සම්බන්ධතා.
- බොරා කීර, වංචා සිදු කිරීම සහ වංක ගණුදෙනු.
- හොරකම් කිරීම.
- පොරොන්දු කඩ කිරීම සහ විශ්වාසය බිඳ හෙළීම.
- අල්ලස් දීම හෝ ගැනීම.
- නින්දා කිරීම, අන් අයගේ චරිත ඝාතනය, අන්‍යයන් උපහාසයට ලක් කිරීම හෝ උපහාසාත්මක කවටකම් යොදා ආමන්ත්‍රණය කිරීම.
- කේලාම් කීම, ඕපාදූප කථා කිරීම, කෙනෙකු නොමැති තැන ඔහු හෝ ඇයගේ වැරදි, අගුණ කථා කිරීම.
- ඔත්තු බැලීම හෝ අන්‍යයන්ගේ පෞද්ගලිකත්වය කෙළෙසීම.
D. පොදු වශයෙන්
- මිනී මැරීම (මෙහිදී සාධාරණ සටනකදී තම ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා සතුරෙකු මරා දැමීම හැර)
- අසාධාරණ වීම, දුෂ්ඨ / ක්‍රෑර පාලනය හා මිනිසුන් හිංසාවට පීඩාවට පත් කිරීම.
- පළිගැනීම සහ ලේ වැගිරවීම.
- පාරම්පරිකව පවුල් අතර පවතින බේද භින්න ස්වභාවය.
- අපරාධ කිරීම, නීති උල්ලංඝනය.
E. අන්‍ය මැවුම් සම්බන්ධව
- සතුන්ට හිංසා පීඩා කිරීම හෝ නපුරු වීම.
- පරිසරය විනාශ කර දැමීම හෝ නොසැලකිලිමත් ලෙස දූෂණය කිරීම.
* තමන් වෙනුවෙන්
1. බාහිර
A. ආහාර පාන
- මත්ද්‍රව්‍ය හෝ මනස විකෘති වන ආහාර පාන.
- මළකුණු
- නිවැරදි ඉස්ලාමීය ක්‍රමයට අනුකූල නොවන ලෙස මරන ලද සතුන්ගේ මස්, වන සතුන් විසින් කා දමා ඉතිරි කරන ලද මස්.
- අල්ලාහ්ගේ නාමය හැර වෙනත් නාමයකින් පිළියෙල කරන ලද ආහාර.
- රුධිරය.
- ඌරුමස් හෝ තම ශරීර සෞඛ්‍යයට හානිකරවූ ආහාරපාන
- තම ශරීරයේ අවශ්‍යාතාවයන්ට වඩා වැඩියෙන් / විශාල ප්‍රමාණයෙන් ආහාර පිරිභෝජනයට ගැනීම සහ ආහාර අපතේ යැවීම.
B. වස්ත්‍රාභරණ
- තම ශරීරය මනාලෙස ආවරණය නොවන ආකාරයේ ඇඳුම් ඇඳීම (පුරුෂයෙකු අවම වශයෙන් තම නාභියේ සිට දණහිස තෙක්ද ස්ත්‍රියක තම අලංකාරය සම්පූර්ණයෙන් අන්‍ය පුරුෂයන්ගෙන් ආවරණය වන වස්ත්‍ර ඇඳිය යුතුය)
- විනිවිද පෙනෙන රෙදි වලින් මැසූ ඇඳුම් හෝ තම ශරීරයේ හැඩය නිරාවරණය වන ආකාරයට මැසූ තද ඇඳුම්.
- පුරුෂයින්, ස්ත්‍රීන්ගේ ඇඳුම් පැලඳුම් භාවිතය සහ ස්ත්‍රීන් විසින් පුරුෂයින්ගේ ඇඳුම් භාවිතය.
- පුරුෂයින් සඳහා රන් ආභරණ සහ සිල්ක් රෙදි භාවිතය
C. ජීවනෝපාය
- සුරා සූදුව, පොළිය, අල්ලස, ලොතරැයි සහ නීත්‍යානුකූල නොවූ ව්‍යාපාර මගින් ධනය ඉපයීම.
- ඉස්ලාමය මගින් තමනම් කරන ලද ක්‍රියා ඉටුකෙරෙන හෝ එබඳු ක්‍රියාවකට අතහිත දෙන ස්ථාන වල සේවය කිරීම.
D. නිවසේදී
- රන්, රිදී වලින් තැනූ භාජන / හැඳි / ගෑරප්පු ආදිය භාවිතා කිරීම.
- නිවස තුල ප්‍රථිමා ඡායාරූප තබා ගැනීම.
- අවශ්‍යතාවයක් නොමැතිව බල්ලෙකු නිවසේ තබා ගැනීම.
2. අභ්‍යන්තරය
- අහංකාර වීම.
- ආශාවනට සහ හැඟීම් වලට වහල් වී අනවශ්‍ය ලෙස සුඛෝපබෝගී ජීවිත ගත කිරීමෙහිලා දැඩි ලෙස එල්බ සිටීම.
- ලෞකික වස්තූන් සහ ධනය එක්රැස් කිරීමෙහි කෑදර බව.
- ඊර්ශ්‍යාව සහ වෛර කිරීම / ද්වේශ සහගත බව.
- අන්‍යයන් පිළිබඳව සැක පහල කිරීම.
පොදු වශයෙන්
- ලැජ්ජා සහගත හෝ නින්දා සහගත ක්‍රියා සිදු කිරීම.
- සියදිවි නසා ගැනීම.
- මසුරු කම.
- ධනය අපතේ යැවීම, නාස්ති කිරීම හෝ අනිසි ලෙස විය පැහැදම් කිරීම.
- අනිසි ලෙස විශාල ප්‍රමාණ වලින් ධනය එක්රැස් කර තැබීම.
Popularity: 65%


Sinhala Unicode Font Download
Masha allah a marvalouse thing, may allah help all the insaan 2 get the proper knowlege & make our imaan strong. may allah shower his help on this site n the persons who is working with the site. ameen.