වුළු හෙවත් ශරීරය දෝවනය කිරීම

ඉස්ලාමීය නැමදුමට පෙර වුළු හෙවත් ශරීරය දෝවනය කිරීම


ඉස්ලාමය යනු පිරිසිදු කම සමග බද්ධව යන දහමකි. ශාරීරික පිරිසිදු කම කෙලෙස තබා ගත යුත්තේද යන්න මැනවින් ඉස්ලාමය තුල දක්වා ඇත. මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ ඉස්ලාමීය නැමදුමට පෙර මුස්ලිම් වරයෙකු විසින් කළ යුතු පිරිසිදු කීරීම ගැනයි.

සලාතය හෙවත් ඉස්ලාමීය නැමදුමට පෙර අනිවාර්යයෙන්ම වුළු කළ යුතුය.

වුළු සිදුකල යුතු ආකාරය

  1. මම වුළු කරමි යන නියියත් (අරමුණ) සිතා ගත යුතුයි.
  2. බිස්මිල්ලා හිර්රහ්මා නිර්රහීම් (අල්ලාහ්ගේ නාමයෙන් අරඹමි) යනුවෙන් පවසා ආරම්භ කළ යුතුය.
  3. අත් දෙක මැණික් කටුව දක්වා තෙවරක් සේදිය යුතුය.
  4. කට සහ නාසය තුන්වර බැගින් සේදිය යුතුයි.
  5. නළලෙහි උඩ සිට නිකට දක්වාත් එක් කනක සිට අනෙක් කන දක්වාත් තුන් වරක් සේදිය යුතුයි.
  6. අත් දෙක වැලමිට දක්වා තුන් වරක් සේදිය යුතුය.
  7. හිස එක්වරක් පමණක් තෙත අතින් පිරි මැදීම (මස්හ් කිරීම) සිදු කළ යුතුය.
  8. කන්‍ දෙක එක් වරක් තෙත අතින් පිරි මැදිය (මස්හ් කළ) යුතුයි.
  9. ප්‍රථමයෙන් දකුණු කකුල සහ ඉන්පසුව වම් කකුල ලෙස දෙපා තෙවරක් සේදිය යුතුය.

මෙහිදී සමෙහි රැළි වැටුණු ස්ථාන හොින් සේදීමට අමතක නොකල යුතුය.

වුළු හෝ තයමුම් නිමවූ පසු පහත සහන් ප්‍රාර්ථනා (දුආ) ව අරාබි බසින් පැවසිය යුතුය.

අෂ්හදු අන්ලාහ ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරිකලහු ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දූහු වරසූලුහු. අල්ලාහුම්මජ්අල්නි මිනත් තව්වාබීන වජ්අල්නි මිනල් මුතතහ්හිරීන්.

එහි අරුත

අල්ලාහ් හැර වැුම් පිුම් කිරීමට ‍සුදුසු වෙන කිසිවෙකු නොමැත. උන්වහන්සේ එකම තැණන් වහන්සේය. උන්වහන්සේට සමාන කවරෙකුත් නැත යනු මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නබි තුමාණන් අල්ලාහ්ගේ වක්තෘ සහ ගැත්තා බවට මම සාක්ෂි දරමි. යා අල්ලාහ්! තමන්ගේ පාපයනට පසුතැවෙන චිත්ත පවිත්‍රතාවයෙන් වෙසෙන අය අතුරෙහි මා තබනු මැනවි.

මූලාශ්‍රය මුස්ලිම් ග්‍රන්ථය ඇසුරෙනි.


තයමූම් කිරීම සිදුකිරීම

තයමූම් කළ යුතු අවස්ථා

  1. ජලය නැති විට
  2. අධික ශීතල අවස්ථාවේදී
  3. ජලය ඇල්ලීමට බැරි තරම් රෝගී අවස්ථාවක
  4. ජලය ඇතත්, ඉතාමත් සීමිත කාර්යයන්ට පමණක් භාවිතා කිරීමට සීමාසහිත වීම.

මෙවැනි අවස්ථා වලදී තයමූම් කිරීමෙන් පිරිසිදු විය හැක.


තයමූම් සිදුකරන ආකාරය

  1. මෙහිදී තමන් තයමූම් කරන්නට යන බව සිතා සිතින් අරමුණු (නියියත්) තැබිය යුතුය.
  2. බිස්මිල්ලා හිර්රහ්මා නිර්රහීම් (අල්ලාහ්ගේ නාමයෙන් අරඹමි) යනුවෙන් ආරම්භ කළ යුතුය.
  3. අත් දෙක පිරිසිදු පසෙහි එක් වරක් තබා
  4. පලමුව මුහුණ පිරිමැදිය යුතුය.
  5. දකුණු අතෙහි මැණික් කටුවෙන් පහල අතෙහි ඉදිරි පසෙහි එක් වරක් සහ වම් අතෙහි එක්වරක් පිරිමැදිය යුතුයි.

වුළු නිශ්ඵල වන සෑම අවස්ථාවකදීම තයමුම්ද නිශ්ඵල වේ. තවද ජලය නොමැති තැනැත්තාට ජලය ලැබීම, ජලය ඇල්ලීමටවත් බැරි රෝගාතුර වී සිටින තැනැත්තාගේ රෝගය සුව වීම, ජලය පාවිච්චි කිරීමට තිබුණු අවහිරතාවය නිරාකරණය වීම යනාදියෙනුත් තයමුම් නිශ්ඵල වන්නේය.

වුළු සහ තයමූම් නිශ්ඵල වන කාර්යයන්

  1. මල, මූත්‍රා පහ වන විට
  2. ගුද මාර්ගයෙන් වාතය පිට වීමේදී
  3. තමාට වූයේ කුමක්ද යන්න නොදන්නා තරමට තද නින්දේ පසු වීම.
  4. ඔටු මස් අනුභව කිරීම.

ඉහත අවස්ථාවන් හිදී වුළු හෝ තයමූම් කිරීමෙන් නැවත පිරිසිදු තත්වයට පත් වේ යනු ඉස්ලාමීය ඉගැන්වීමයි. මෙයට අමතරව අනිවාර්යයෙන් ස්නානය කළ යුතු අපිරිසිදු අවස්ථාවන් ඇත.

ස්නානය අනිවාර්යය වන කාර්යයන්

  1. ස්ත්‍රී පුරුෂ ලිංගික සේවනයේ ඇසුරෙහි යෙදීම.
  2. මොනයම් හෝ ආකාරයකින් ධාතු පිටවීම.
  3. ස්ත්‍රීන්ට ඔසප් (අරාබි බසින් හයිලු) අවස්ථාව.
  4. ස්ත්‍රීන්ට දරු ප්‍රසූතියෙන් පසුව (අරාබි බසින් නිෆාස්) රුධිරය පිටවීම.
  5. කෙනෙකු අළුතින් ඉස්ලාමය වැල ගැනීම.
  6. මුස්ලිම් වරයෙකු මරණයට පත් වීමේදී.

මෙවැනි අවස්ථාවක් උදාවූ විට අපිරිසිදු භාවයෙන් ඉවත් වීමට ස්නානය කරමි යනුවෙන් සිතින් අරමුණු කරගෙන, ඉන් පසුව බිස්මිල්ලා හිර්රහ්මා නිර්රහීම් (අල්ලාහ්ගේ නාමයෙන් අරඹමි) යැයි පවසමින් ආරම්භ කර, සම්පූර්ණයෙන් ශරීරයම තෙමෙන ලෙස ස්නානය කළ යුතුය. මෙලෙස ස්නානය කිරීමට පෙර අත්දෙක සේදීම, රහස් ප්‍රදේශ හොට සේදීම මෙන්ම සලාතයට පෙර මෙන් වුළු ගැනීම සිදුකළ යුතුය.

*යමෙකු වුළු ගැනීමෙන් පසුව තම දෙපා වලට මේස් (socks) දා ගත්තේ නම් සාමාන්‍ය දවස් වල පැය 24ටත් ගමන් බිමන් වලදී දින 3 කටත් එම මේස් නොගලවා, ඒවා මත තෙත අතින් මස්හ් නම් වූ පිරිමැදීම කළ හැක. නමුත් වුළු කළ යුතු ශරීරයේ අනෙක් කොටස් අනිවාර්යයෙන් වුළු කර ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *